පිටිකිරි බොන අපේ අයට හිතන්නට යමක්

අපේ රටේ කාන්තාවන් බොහොමයකට Ovarian Cysts, Fibroid වැනි රෝග වලට හේතුව විදෙස් කිරිපිටි බවට සැක මතුවී ඇති මේ කාලයේ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් චන්දිම උයනගේ මහතා විසින් පල කල ඉතාම වටිනා ලිපියක් මේසේ උපුටා පල කරමි :

දිගට පෝස්ට් කියවන්නේ නැති අයට බොටම් ලයින් එක ~ ජපානේ ලොකුම සුපර් මාකට් එකක ඇවිදලත් පිටි කිරි හොයාගන්න බැරි උනා. මෙහෙත් පිටි හිඟ වෙලාද හෑ…ජපානේ ඉන්න ලාංකික ජනතාව බීලම ඉවර වෙලාවත්ද? නැතිනං මෙහෙන් පිටි පැකට් ලංකාවට පටෝලද හැබෑට? කතාව දැනගන්න නං දිගටම කියවන්ටෝන.මගේ මිත්‍රයා ලසන්ත ජයවර්ධනගේ ඕස්ට්‍රේලියාවේ කිරි පිටි කතාවට ජපානෙන් සපෝර්ට් එකක් විදියට මේක ලියන්නේ.

ලංකාවේ කිරි පිටි කේස් එක නිසා කිරි පිටි නැතුව හාමත් වෙලා ඉන්න අයගේ පෝස්ට් කීපෙකුත් දැක්කා ඔය අස්සේ.

පෙරේදා ඔපිස් එකේ දවල් කෑම වෙලාවේ ජපං කාරයෙකුට ලං කරලා ශේප් එකේ ඇහුවා ජප්පෝ පිටි කිරි බොනවද කියලා (නෑ බං ජෙප්පෝ නෙවේ ජප්පෝ. ජෙප්පෝ මොනාද මේ දවස්වල බොන්නේ කියලා මටත් ප්‍රශ්නයක් තියෙනෝ). මිනිහා මුලින් හිනා උනා. ඊට පස්සේ මට කිව්වේ මෙහෙම කතාවක්. ජපානේ කාලයක් කිරි පිටි සෑහෙන්න පාවිච්චි කරලා තියෙනෝ. ඒ දෙවෙනි ලෝක යුද්දෙන් ජපානේ පැරදිලා යටත් උන අලුත. ඒ දවස් වල ජපානේ ආර්ථිකේ කඩා වැටිලා නිෂ්පාදනය අඩාල වෙලා තිබුන නිසා ඇමෙරිකාවෙන් කිරි පිටි සපයන්න පටන් අරං තියෙනෝ. මිනිස්සු ආහාර වගේම පෝෂණය හිඟ කම නිසා මේ ඇමෙරිකන් පිටි බොන්න පටන් අරං. කාලයක් යද්දී ජපානේ ආයෙමත් ස්වාධීන ඒ වගේම දියුණු රටක් විදියට නැගී හිටිද්දී ජපන්නු කිරි පිටි වලින් ඈත් වෙලා දියර කිරි නැතිනම් “Liquid Milk” වලට වැඩිපුර නැඹුරු වෙලා. (ජපානෙට නිදහස් රටක් විදියට නැගී හිටින්න අවස්තාව අරං දුන්නේ අපේ JR (ජයවර්ධන තමයි). ඒ කතාව ගූගල් කොරලා බලන්ට.

කොහොම හරි දැන් ජපානේ පිටි කිරි පාවිච්චියක් නැති තරං. ජපනා උදේ හවස බොන්නේ ජපං ග්‍රීන් ටී. නැතිනං කෝපි. වතුරටත් වඩා ග්‍රීන් ටී සහ වෙනත් තේ මිශ්‍ර බීම බොනෝ මට හිතෙන විදියට. ජපන්නු දවල්ට කාලා බොන්නෙත් ග්‍රීන් ටී එකක් (ඔය පොටෝ දෙකක් දාලා ඇති සුපර් මාකට් එකේ තියෙන එව්වගේ). තවදුරටත් මිනිහා මට කිව්වේ අමතර පෝෂණය ඕන ළමයි විතරක් සමහර වෙලාවට පිටි බොන කතාවක්. පිටි බ්‍රෑන්ඩ් එකක්වත් මිනිහට හරියට ඔලුවට ආවේ නෑ. ඔය කතාව ඔලුවේ තියන් මම ගෙදර ආවා.

අද සෙනසුරාදා කඩේ යන දවස (කාටද? නෑ අයිසේ…ගෙදරට බඩු ගන්න සුපර් මාර්කට් යන දවස). සුපර් මාකට් එකේ වට තුනක් ගහලත් පිටි කිරි හොයාගන්න බැරි උන තැන මම ඇහුවා වැඩ කරන කෙනෙක්ගෙන්. මම දන්නේ නෑ මේකේ පිටි කිරි තියෙනවද කියලවත්. මොකද මම බොන්නේ නැති නිසා. නුවණැති මව්වරුන්ගේ තේරීමෙන් පුරෝලා කෝප්පයක් නොබී උදේට ඇඳෙන් බහින්න වගේම රෑට නිදාගන්න යන්නත් බැරුව කාලයක් හිටිය මම දැන් ඉඳලා හිටලා බොන තේ කහට කෝප්පෙට මාරු වෙලා අවුරුදුම විස්සක් (ඕ ඉතිං මට දැන් විස්සට වඩා ටිකක් වැඩී හිටං…)

“පිටි කිරි…?”
එහෙම අහලා ඇස් කරකෝලා කල්පනා කරලා කියපි, “පළවෙනි තට්ටුවේ බලන්න…සමහරවිට” කියලා. ඒකත් අඩමානෙට කිව්වේ.

මං බඩු ටික අරගන්න ගමන් කිරි ආහාර තියෙන රාක්ක වටේ ගිහිං පොටෝ ටිකක් ගැහුවා. ඔය දාලා තියෙන්නේ ඒවා. මෙහෙ නැවුම් දියර කිරි වර්ග බර ගානක් තියෙනෝ. ගණන් ඉතිං රුපියල් වලින් නං ලීටරයක් තුන්සීයේ සිට ඉහලට වගේ. කිරි එන පළාතේ හැටියට වෙන් කරපුවා වගේම රස කල කිරි වර්ග කීපෙකුත් තිබුනා. කෝපි රස එව්වා තමයි වැඩිය තිබුනේ. තව සෝයා කිරි ජාතියකුත් තියෙනෝ දැක්කා. ලංකාව සහ දියුණු වෙමින් පවතින තවත් රටවල් ගානක් නවසීලන්තේ සහ ඕස්ට්‍රේලියාවේ නැවුම් තණකොළ සාඩම්බරෙන් කෑවට…සොරි කිරි බිව්වට මේ කියන රටවල්වල සහ වෙනත් දියුණු රටවල් ගණනාවක් වැඩිපුර බොන්නේ දියර කිරි. ලංකාවේ පොඩි එවුන් නලෝගන්න බටේ කටේ ගහලා දෙන පොඩි කිරි පැකට් ජාති උනත් මෙහෙ දැක්කේ නෑ.

මේ ලින්ක් එකට ගිහිං බලන්න ලංකාවට අවුරුදු හතළිහක් තිස්සේ ආදරෙන් පිටි කිරි පොවන එක සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධාන වෙළඳපොළවල් පිටුවේ ලංකාව ගැනත් විශේෂයෙන් තියෙනෝ. මේගොල්ලන්ගේ හොඳම මාකට්ස් ආසියානු රටවල්.

 https://www.fonterra.com/nz/en/about/our-markets.html ඒකෙම තියෙනෝ ලංකාවේ දියර කිරි ඉල්ලුම වැඩි වේගෙන එන කතාවකුත්. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. තමන්ගේ රටවලටවත් නැති ආදරේකින් අපේ රටවලට පිටි පොවන හැටි ගැන තව විස්තර මෙතන https://view.publitas.com/fonterra/global_dairy_update_february_19/page/6-7

මේක පොඩි සුපර් මාකට් එකක් නෙවී. සෙවන් ඉලෙවන් කියන සමාගමට අයිති ලොකුම එකක්. හැම දේම තියෙන තැන පිටි පැකට් එකක් බෙහෙතකට නැති තැන මම බඩු ටික අරං පිටි හොයාගෙන ගියා පළවෙනි තට්ටුවට. ඒක සුපර් මාකට් එකේ කෑල්ලක් නෙවේ. වෙනම ෂොප් එකක්. එතන ටිකක් පාමසියක් වගේ. ශරීර සවුක්කියට සහ රූපලාවන්යට අදාළ දේවල් වැඩි හරිය තියෙන්නේ. එතනත් බඩු නෑ වගේ.
“කිරි පිටි නැද්ද?”
“කිරි පිටි…? පොඩි ළමයෙකුටද?
“නැහ් මේ…”
“ලොකු කෙනෙකුට…පිටි කිරි?
එතන හිටපු ගෑනු කෙනා එහෙම ඇහුවේ ලොකු මනුස්සයෙකුට පිටි කිරි හොයං ආපු පලවෙනි කෙනා මං ගානට. මම ශේප් එකේ ට්‍රැක් මාරු කරා.
“ආ…ඔව්…ළමයෙකුට”
මාව එක්කං ගිහිං පෙන්නුවා කෙළවරක තිබුණු පොඩි රාක්කයක්. පොඩි ළමයින්ට පෝෂණ අවශ්‍යතා මත දෙන කිරි පිටි ටින් හතරක් නැතිනං පහක් එතන තිබුනා. එච්චරයි. මුළු කඩේටම තිබුනේ ඔය පිටි ටින් පහ විතරයි. ඊට එහා පැත්තේ තිබුන බලු කෑම සෙක්ෂන් එක ඊට ලොකුයි.

මිනිස්සු පිටි බොන්නේ පුරුද්දට. ඒක බහු ජාතික සමාගම් කාලයක් තිස්සේ පුරුදු කරපු දෙයක්. වේල් තුන හොඳට බත් කාලා ඉන්න ලංකාවේ අපේ මිනිස්සුන්ට එක එක වස විස දාලා එවන රට වැස්සියන්ගේ කිරි ඕනේ නෑ. ලංකාවේ කිරි ප්‍රශ්නෙට විසඳුම…(නෑ අයිසේ එයා නෙවී. හැබැයි මම කැමතී ඔහේ හිතපු විදියට)…විසඳුම අපි පිටි කිරි වැඩක් නෑ කියලා තේරුම් ගන්න එක සහ දේශීය දියර කිරි නිෂ්පාදනය වැඩි කර ගන්න එක.

ලෝක යුද්දෙන් සමතලා උන ජපානේ පනස් ගණන්වල ඉඳන් අවුරුදු හැට හැත්තෑවක් ඇතුලත මේ තත්වෙට දියුණු ජාතියක් උනේ පිටි කිරි බීලා නෙවෙයි. නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සමාගම් වලට තමන්ගේ රටවලවත් නැති මාකට් එකක් ලංකාව වගේ රටවල හැදිලා තියෙන්නේ ඇයි? මේක දැන්වත් තේරුම් අරං පිටි බොන එක අතාරින්න මේක හොඳ වෙලාව. ආණ්ඩුවෙන් නවත්තනකන් බලං ඉන්නෝන නෑ. මිනිස්සු බොන එක නැවත්තුවනන් එච්චරයි. ගෙදරට එන මනුස්සයට තැඹිලි ගෙඩියක් කපලා දෙන්න, තේ එකක් දෙන්න. ඔෆිස් වල උදේ හවස පිටි කිරි දිය කරලා දෙන එක පුලුවන්නං නවත්තන්න. ලංකාවේ හැදෙන තේ කහට එකක් බොන්න. නැතිනං එළකිරි බොන්න. ලංකාවේ දියර කිරි නිෂ්පාදනය මදී නං ඉවසලා ඉන්න. ඕනෙමනං ලංකාවේ සමාගමක් හදන පිටි එකක් බොන්න.

අපි දිගටම රට පිටි කිරි වර්ජනය කරලා මාකට් එකේ බඩු ඉවර වෙනකං ෆ්‍රෙෂ් මිල්ක් සහ ලංකාවේ කිරි නිෂ්පාදන ගන්නකොට මාකට් එකේ හැදෙන ඉල්ලුම පුරවන්න තව දේශීය නිෂ්පාදකයෝ කිරි නිෂ්පාදනයට අත ගහයි. මිනිස්සු ඉල්ලන දේ ඉල්ලන ප්‍රමානෙට තමයි සැපයුම. ඒක තමයි තියරිය. නුවණැති මව්වරුන් ලව්වා ලංකාවේ මිනිස්සුන්ට පිටි පෙව්ව කාලේ ඉවරයි (නුවණැති මව්වරුන්ගේ මොළේ තරමත් නගර සබාවේ අය වැය කියවද්දී අපි දැක්කා නෙව).

චන්දිම උයනගේ මහතා ගෙ Facebook ලිපිය :

ඔබේ අදහස් මෙතැන ලියන්න, බොහොම ස්තුතියි.